govlk

දැක්ම

වෘත්තීය ගුණාත්මකභාවය හා අභිමානය සුරක්ෂිත කරමින් ශ්‍රී ලංකා ආයුර්වේද ක්ෂේත්‍රයේ උත්තරීතර ආයතනය බවට පත්වීම.

මෙහෙවර

වෘත්තිය ආචාරධර්ම වලට අනුගත වූ උපරිම මහජන සේවාවක් සළසමින් ආයුර්වේද ක්ෂේත්‍රයේ ගුණාත්මක සංවර්ධනය සඳහා අවශ්‍ය නෛතික පදනම සුරක්ෂිත කිරීම.

පරමාර්ථය

1961 අංක 31 දරණ ආයුර්වේද පනතෙහි විධි විධාන වලට අනුකූලව ආයුර්වේද ක්ෂේත්‍රයේ ගුණාත්මක සංවර්ධනය සංස්ථාපනය කිරීමට අවශ්‍ය දැනුම, කුසලතාව හා පළපුරුද්ද සහිත වෘත්තිකයින් වෙත නෛතික අධිකාරිත්වය පිරිනැමීම සහ වෘත්තියේ ගරුත්වය සහ ගුණාත්මකභාවය සුරක්ෂිත කිරීම.

අභිමතාර්ථ
  • ආයුර්වේද පනතෙහි විධිවිධාන වලට අනුකූලව වෘත්තිය කටයුතු පිළිබඳ උත්තරීතර ව්‍යවස්ථාපිත මණ්ඩලයක් ස්ථාපිත කොට නීත්‍යානුකූලව පවත්වාගෙන යාම.
  • ආයුර්වේද ක්ෂේත්‍රයේ වෘත්තීය නිපුණතාව නිර්ණය කිරීම හා වෘත්තියෙහි නියැලීම සඳහා අධිකාරී බලය පිරිනැමීම.
  • ආයුර්වේද සේවා ඉටුකිරීමේලා වෘත්තීය චර්යාව පිළිබඳ ගුණාත්මකභාවය පවත්වා ගෙන යාම හා ඊට අදාළ සමාජ ප්‍රතිචාර්යතාව ප්‍රවර්ධනය කිරීම.
  • උක්ත අභිමතාර්ථ වලට අනුගත ක්‍රියාමාර්ග ඉටු කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම හා ආයතනික ව්‍යුහය ක්‍රමානුකූලව සංස්ථාපනය කිරීම.
  • හෙළ වෙද රුවනාර IV යටතේ දිස්ත්‍රික්ක මට්ටමින් ලියාපදිංචි කිරීමේ සම්මුඛ පරීක්ෂණ ජංගම කාර්යාල පැවැත්වීම.
  • භෙළ වෙද රුවනාර IV යටතේ දිස්ත්‍රික්ක මට්ටමින් ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළ වෘත්තිකයින්, ආයතන, දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • ආයුර්වේද ක්ෂේත්‍රයේ වෘත්තිය වැඩිදියුණුව සහ කාලීන ගැටළු පිළිබඳ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම.
හැදින්වීම

1927 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අනුකාරක සභා නිර්දේශයක් අනුව 1928 දී පිහිටවනු ලැබූ ස්වදේශීය වෛද්‍ය මණ්ඩලය ශ්‍රී ලාංකේය ආයුර්වේද ක්ෂේත්‍රයේ ප්‍රථම නෛතික අධිකාරී බලයලත් ආයතනය විය. පසුව 1935 අංක 46 දරන ලංකායුර්වේද වෛද්‍යානුශාසක සභා ආඥා පනත මගින් ස්ථාපනය කරන ලද ආයුර්වේද වෛද්‍ය සභාව 1941 අංක 17 දරන ස්වදේශීය වෛද්‍ය ආඥා පනතේ (1945 අංක 49 හා 1949 අංක 49 මගින් සංශෝධිත) විධිවිධාන යටතේ යළිත් ප්‍රතිස්ථාපනය කරනු ලැබීය. දැනට ක්‍රියාත්මක ආයුර්වේද වෛද්‍ය සභාව 1961 අංක 31 දරන ආයුර්වේද පනත යටතේ ස්ථාපිනය කරනු ලැබූ ව්‍යවස්ථාපිත ආයතනයකි. එහි තුන්වන කොටසෙහි 11 (1) වැනි වගන්තිය ප්‍රකාර මෙම සභාව පත් වනු ලබන්නේ පහත දැක්වෙන සංයුතිය සහිතවය.

  • ආයුර්වේද කොමසාරිස්වරයා.
  • කොළඹ දේශීය වෛද්‍ය විද්‍යායතනයෙහි අධ්‍යක්ෂ.
  • කොළඹ දේශීය වෛද්‍ය විද්‍යායතනයෙහි ආචාර්යවරුන් විසින් ඔවුන් අතරෙන් තෝරා පත් කරගනු ලැබූ සාමාජිකයන් දෙදෙනෙකු.
  • අනුමත කරනු ලැබූ එක් එක් ආයුර්වේද අධ්‍යාපනික ආයතනයක ආචාර්යවරුන් විසින් ඔවුන් අතරෙන් තෝරා පත් කර ගනු ලැබූ එක් සාමාජිකයකු.
  • ලියාපදිංචි කරනු ලැබූ ආයුර්වේද වෛද්‍යවරුන් විසින් ඔවුන් අතරෙන් තෝරාපත් කර ගනු ලැබූ සාමාජිකයන් තුන් දෙනෙකු හා
  • ඇමතිවරයා විසින් පත් කරනු ලැබූ සාමාජිකයන් දස දෙනෙකුට වැඩි නොවන ගනනක් ඔවුන් අතර
    • ලියාපදිංචි කරනු ලැබූ ආයුර්වේද වෛද්‍යවරුන් නොවන තැනැත්තන් අතරෙන් තුන්දෙනෙකුට වැඩිය මෙසේ පත් නොකළ යුතුය.
    • සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනය විසින් නම් කෙරෙන දස දෙනෙකුගෙන් යුත් මණ්ඩලයකින් යටත් පිරිසෙයින් තුන්දෙනෙකු එසේ පත් කරනු ලැබිය යුතුය.
    • සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ සාමාජිකයන් නොවන ලියාපදිංචි කරනු ලැබූ ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් යටත් පිරිසෙයින් දෙදෙනෙකු එසේ පත් කරනු ලැබිය යුතුය.

1961 අංක 31 දරන ආයුර්වේද පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව ආයුර්වේද වෛද්‍ය සභාවට පැවරී ඇති බලතල මෙසේය.

  • ආයුර්වේදය උගන්වන යම් ආයතනයක් මේ පනතෙහි කාර්යයන් සදහා ඇමතිවරයා විසින් අනුමත කළ යුතු ද යන්න ඇමතිවරයාට නිර්දේශ කිරීම.
  • ආයුර්වේද වෛද්‍යවරයන් වශයෙන් තැනැත්තන්ගේ නම් ලියාපදිංචි කිරීම.
  • ආයුර්වේද ඖෂධ සංයෝගකයන් වශයෙන් තැනැත්තන්ගේ නම් ලියාපදිංචි කිරීම.
  • ආයුර්වේද සාත්තු සේවකයන් වශයෙන් තැනැත්තන්ගේ නම් ලියාපදිංචි කිරීම.
  • එසේ ලියාපදිංචි කිරීම් අවලංගු කිරීම හෝ අත්හිටුවීම, හා
    • ආයුර්වේද වෛද්‍යවරයන්ගේ, ආයුර්වේද ඖෂධ සංයෝගකයන්ගේ, ආයුර්වේද සාත්තු සේවකයන්ගේ වෘත්තීය හැසිරීම විධිමත් කිරීම හා පාලනය කිරීම සදහා ද,
    • මේ වගන්තියෙහි (අ) සිට (ඉ) තෙක් ජේදවල සඳහන් කරුණුවලින් යමක් සදහා ද ව්‍යවස්ථා සම්පාදනය කිරීම.
FaLang translation system by Faboba